නත්තලට පසුව යෙදෙන නිවාඩු දිනය - බොක්සිං ඩේ
December 2017

බොක්සිං කියු සැනෙකින් අප කාගේත් මතකයට එන්නේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ උද්වේගී ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩකයින් දෙපළකි. නමුත් එයට මුළුමනින්ම වෙනස්වූ අරුතක් ඇති බොක්සිං ඩේ යනු යුරෝපය ඇතුළූ බටහිර ලෝකය පුරාවට ප්‍රීතියෙන් මෙන්ම උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නිවාඩු දිනයකි.


සටහන: අනුරාධා පෙරේරා


මල් තුහින විසිරෙන සීතල දෙසැම්බර් මාසය උණුසුම් කරවන්නේ නත්තලයි. සමාදානයේ, ප්‍රීතියේ මෙන්ම සමගියේද උණුසුම් හැඟීම් පුබුදුවන මේ කාලය, වයස් භේදයකින් තොරවම සෑම දෙනෙක් තුළම ඇති කරවන්නේ පහන් හැඟීමක් මුසුවූ සතුටක්. ඒ හැඟීම් සමුදායත් සමඟින්ම නත්තල් දිනයට පසුව යෙදෙන දිනය වන දෙසැම්බර් මස 26 වැනිදා නත්තලේ අරුත්බර බව සංඛේතවත් කරවන අතරම ප්‍රීතියෙන්, සැහැල්ලූවෙන් සපිරි අත්දැකීමක් ලබාදීමට සමත්ව ඇත.


බොක්සිං ඩේ ආරම්භය

නත්තල් දිනයට පසු දිනය වන දෙසැම්බර් මස 26 වැනිදා "බොක්සිං ඩේ" යනුවෙන් නම්කර පොදු නිවාඩු දිනයක් ලෙසින් දින දසුනට එක්වී ඇත්තේ එක්සත් රාජධානියේදීය. ඒ මීට වසර 800 කට පමණ පෙර අතීතයේ දීය. බොක්සිං ඩේ යනුවෙන් හඳුන්වමින් එය ඇරඹීමට හේතු පාදකවී ඇත්තේ ඉතාමත් පහන් හැඟීම් පුබුදුවන සොඳුරු නිමිත්තකි. පුණ්‍යාධාර ලෙස මුදල් සහ ද්‍රව්‍ය එකතු කිරීමේ පෙට්ටි සෑම පල්ලියකම සකසා තිබේ. මේ සඳහා වසර පුරාවටම බැතිමතුන් විසින් මුදල් දමනු ලබයි. එසේම තව කෙනෙකුට භාවිතයට ගතහැකි හොඳ තත්ත්වයේ ඇති ඇඳුම් පැළඳුම්ද ගෙනවිත් දමනු ලබයි. මෙම පෙට්ටි නිල වශයෙන් විවෘත කරනු ලබන්නේ දෙසැම්බර් 26 වැනිදාය. ඒවායෙහි ඇති මුදල් සහ අනෙකුත් දෑ අඩු ආදයම් සහිත පවුල් සඳහා බෙදාදීම මෙදිනදී සිදුවේ. නත්තල් සැමරුම් සඳහා සූදානම් කර ඉතිරිවන කැවිලි ආදි ආහාර වර්ගයන් ද ක්‍රමවත්ව පෙට්ටිවලට අසුරා රැගෙන විත් ඔවුන්හට ලබා දෙනු ලැබුවේ රසවත් දේ අන් අයටත් දෙමින් නත්තලේ ප්‍රීතිය තවදුරටත් වැඩි කර ගනිමින්ය.


ලොව පුරා ව්‍යාප්තිය

එදා එක්සත් රාජධානියෙන් ඇරඹි බොක්සිං ඩේ ඉන් අනතුරුව ලොව පුරා බොහෝ රටවල්වල දින දසුන්වලට එකතු විය. ඒ අතර ප්‍රංශය, ජරර්මනිය වැනි යුරෝපීය රටවල් මෙන්ම කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි එක්සත් රාජධානිය සමඟින් ඓතිහාසික සබඳතා පවතින රටවල්ද ඇතුළත්ය. එය පොදු නිවාඩු දිනයක් ලෙසින් නම් කිරීමකට පමණක් සීමා නොවී විවිධාකාරයේ උත්සව සැමරුම්ද එදිනට පැවැත්වීමට ඒ රටවල් උත්සුක විය.

නත්තල් දිනයට පසු දිනය වන දෙසැම්බර් මස 26 වැනිදා “බොක්සිං ඩේ” යනුවෙන් නම්කර පොදු නිවාඩු දිනයක් ලෙසින් දින දසුනට එක්වී ඇත්තේ එක්සත් රාජධානියේදීය. ඒ මීට වසර 800 කට පමණ පෙර අතීතයේ දීය.


වත්මන් සැමරුම්

ඉහත සඳහන් රටවල් ඇතුළු ලොව පුරා විසිරී පවතින දේශයන් බොහෝමයක් බොක්සිං ඩේ සැමරීම විවිධාකාරයෙන් සුදානම් වෙනු ලබයි. එහිදී නිවාඩු දිනයක් යන සැබෑ අරුත නංවන ආකාරයෙන් පවුලේ සාමාජිකයින් සියලූ දෙනාම එකට එක්වී විවිධාකාරයේ ක්‍රීඩාවන්වල නිරත වීම මෙන්ම ක්‍රීඩා තරග නැරඹීමද බහුල වශයෙන් සිදුවේ. ඊට අමතරව සාප්පු සංකීර්ණවල ඇදහිය නොහැකි තරමේ මිල අඩු කිරීමේ වට්ටම් සහිතව භාණ්ඩ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා විශාල ලෙස ජනතාව සාප්පු සංකීර්ණ වෙත එකතු වන අතර එහිදී ඔවුන් භාණ්ඩ මිලදී ගැනීමේ පමණක් නොව ආහාර පානයන්ගේ මිහිර විඳින අතරතුර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සතුට, නිදහස, ප්‍රීතිය සැමරෙන ආකාරයේ ක්‍රියාකාරකම්වලද යෙදෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග සුවිශේෂය. මෙල්බර්න් යනු බහුවිධ සංස්කෘතින්ට උරුමකම් කියන ජනතාවක් වෙසෙන නගරයකි. එහිදී ඒ සැම කෙනෙකුම පාහේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට (MCG) එකතු වන්නේ මෙලෙසින් පැවැත්වෙන ක්‍රිකට් තරගය නැරඹීම සඳහාය. වාර්ෂිකව මහත් ඉහළින් පවත්වනු ලබන මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2017 වසරේද උත්කර්ශවත් අයුරින් පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසිකව පවත්වන "ඈශස් කුසලාන" (අළු බඳුන සඳහාවූ) ටෙස්ට් ක්‍රිකට් තරගයයි.


මෙම ලිපිය සැකසෙන්නේ අන්තර්ජාලයෙන් සපයාගත් තොරතුරු සහ ඡායාරූප ඇසුරිනි.


Boxing day is celebrated on December 26, the day after Christmas, and has no connection to the sport - boxing. It is a holiday that is held in many countries (UK, Australia, New Zealand, South Africa and European countries). This was started in the UK about 800 years ago, during the Middle Ages. It was the day when the alms box, collection boxes for the poor often kept in churches, were traditionally opened so that the contents could be distributed to the poor. Later on, Christmas feast too was packed into boxes and distributed among the less fortunate on December 26. Today, Boxing Day is celebrated in many ways, with family and friends.

  • image01
    image01

    නිව්යෝක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති 1850 වසරේ ඇඳි බොක්සිං ඩේ ෆෝ ඩාන්සර්ස් නම් සිතුවම

    Prev Next
  • image01
    image01

    බොක්සිං ඩේ සමරන්නන් අතර ප්‍රචලිත සිඞ්නි හි බොන්ඩයි වෙරළ තීරය

    Prev Next
  • image01
    image01

    විශේෂ වට්ටම් පිරිනැමීමද බොක්සිං ඩේ හිදී සිදුවේ

    Prev Next
  • image01
    image01

    අළු බඳුන සඳහාවූ ක්‍රිකට් තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

    Prev Next